Pages

Wednesday, June 3, 2020

බල්ලොත් එක්ක නිදා ගන්න

මෙය අවාසනාවට නුගේගොඩ ප්‍රසිද්ධ පොත් සාප්පුවකදී සිදුවූ සත්‍ය සිද්ධියකි.

එය 2009 හෝ 2010 වසරයි. ජනප්‍රිය කලාකරු විජය නන්දසිරි මහතා රඟපෑ බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ show එකක් මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේ ඇති බව රැකියා ස්ථානයේ මිතුරු කැළට ආරංචි වූ වාහාම එය නැරඹීමට සියල්ලෝම ඒකමතිකව කැමති වූහ. ටිකට් කල්තබාම වෙන්කරවා ගැනීම් ඇඟට හොඳ බැවින් ඒ භාරදුර රාජකාරිය නුගේගොඩ හරහා දිනපතා යන එන මටත්, මාගේ යහළුවකුටත් භාර විය. බස් රියෙන් යාම් ඊම් කල මට, බොහෝ දිනවල සවසට දෙහිවල දක්වා ගමන් කල යහළුවා ගෙන් lift එකක් ලැබුණි. එබැවින් ගෙදර යන ගමන් පොත් සාප්පුවට ගොඩවී යාම එතරම් අපහසු වැඩක් නොවේ.

ජනාකීර්ණ නුගේගොඩ නගරයේ රථය ගාල් කිරීමට තැනක් සොයා ගත් අපි, පොත් සාප්පුවට ගොඩ වීමු. යහළුවා මට ඉස්සර විය. Cashier වෙත ළඟා වූ ඔහු ඇඟට පතට නොදැනී ඇසුවේ ඉහ මොළ රත් වෙන ප්‍රශ්නයකි.

අක්කේ, බල්ලොත් එක්ක නිදා ගන්න ticket තියෙනවද ?

සුපුරුදු ලෙස ඔහුට පොඩි අවුලක් සිදුවූ බව දැනුනද, හොඳම යහළුවෙකු ලෙස මට කල හැකිව තිබුණේ ඔහු හදුනන්නේ නැති ලෙස වෙන අතක් බලා සිටීම පමණි.