Pages

Wednesday, May 6, 2020

පැහිච්ච ආදරය

හිරිමල් ආදරය පවසාවි, මම ඔබට ආදරෙයි කියා
මට ඔබ නැතුව බැරි නිසා
ඉඩොර, වස්සානයන් මැදින් වසන්තය සොයා ඉදිරියට ඇදේවි
කටුකොහොල් බිඳ නොනැසී  තියේවි
ඔබ නැතිව බැරි තුරාවට
එනමුත් හේතුව බිඳී ගිය කල ඵලය ද බිඳී යාවි
සම්බුදු වදන පසක් කරමින්

පැසුණු ආදරය පවසාවි ඔබ නැතුව බැහැ කියා
ඔබට ආදරේ නිසා
ආදරේ ඇයිද යන පැනය හමුවේ නිරුත්තර වේවි 
ඉඩොර, වස්සානයන් මැදින් වසන්තය සොයා ඉදිරියට ඇදේවි
කටුකොහොල් බිඳ නොනැසී තියේවි
මරණය වෙන් කරන තුරාවට
හේතුන්ගෙන් තොර ඵලය කෙසේ බිඳෙන්න ද

ළමැදේ වත සඟවා, විටෙක හිනැහෙමින්, විටෙක ඉකිබිඳිමින් 
ජීවිත සටනට උරදෙමින්
කෙළිදෙලෙන් ඔබ ආ මග
ආදරවන්තයින්ගේ සත්වන සැතපුම අසළ හිඳ ආපසු හැරී බලන විට
නිසැකයි දයාබරියේ
ඔබේ හිරිමල් සිත තුල පැහිච්ච ආදරයක් ඇති බව

Tuesday, May 5, 2020

පහනේ වහලා

නෙස්ප්‍රේ කිරිපිටි සමඟ නොමිලේ ලබාදුන් ළමා කතා, මා කුඩා කල ඉතා අසාවෙන් කියවූ පොත් පෙලකි. අලි බාබා සහ හොරු හතලිහ, නිදි කුමාරි, රතු හැට්ටකාරී, ඇලඩින් ගේ පුදුම පහන වැනි මතක හිටින කතා ඒ අතර විය. ඉන් වඩාත්ම කුහුල අවදිකලේ ඇලඩින් ගේ පුදුම පහන වටා ගෙතුණු කතාවයි. එහි විස්මය ජනක මායා ජාලයන් අතරේ ලොකුම පටලැවිල්ල වූයේ ඇලඩීන් සහ භූතයා අතර පළමු කතාබහයි. ඇලඩින් පළමු වරට  භූතයා දුටු විට භූතයා තමාව  හදුන්වා දුන්නේ "මම පහනේ වහලා" යනුවෙනි.

Image Source: URL

වහලා යන වචනය නාම පදයක් ලෙස එකල මා දැන සිටියේ නැත. දැන සිටියේ ක්‍රියා පදයක් ලෙස පමණි. නමුත් පොතේ තිබුණ චිත්‍රය මා දැනසිටි අරුතට ගැලපුනේ නැත. පහනේ වහලා යන්නෙන් මගේ සිතේ මැවුනේ කුරුල්ලක් අතු අග වසා සිටිනවා මෙන් පහන මත වසා සිටින භුතයෙකි. පසුකලෙක පාසලෙදි වහල් මෙහය පිළිබඳව දැන ගන්නා තුරු පහනේ වහලා නොවිසඳුණු අබිරහසක්ව පැවතිනි.