Pages

Friday, April 24, 2020

පන්සලේදී වන්දනා කරන ගාථා බුදු සාදුට ඇසෙන්නේ කොහොමද ?



කුඩා අවධියේදී  පන්සල් යෑම එම මොහොතේදීම පින් පල දෙන දුලබ අවස්ථාවකි.  අම්මලා, අච්චිලා වන්දනා කර අවසන්වනතුරු හිතේ හැටියට වැලිමලුවෙ සහ පඩිපෙල් මත දුව පැන නැටීමට ලැබීම එම පින්කමේ අනිසන්සයයි. අනිසන්සයට සමගාමිව ගාලගොට්ටියද ක්‍රමයෙන් වැඩිවේ. වැඩිහිටියෙකු පැමිණ තරවටු කිරීමෙන් පසුව තත්වය මදකට සමනය වුවද එය චිත්තක්ෂණ කිහිපයට  පමණි. මෙය ඒ අතර ඇතිවූ පුංචි ප්‍රශ්නයකි.

ඉඳහිට සදෙව්ලොවටම ඇසෙන සේ ශබ්දනගා ගාථා කියන උපාසක උපාසිකාවන් පන්සලේ දැක ඇති මුත් බොහෝ දෙනා වන්දනා ගාථා ඉතා සෙමින් මුමුණති. වැඩිහිටියන් අපගේ  ගාලගෝට්ටියට තරවටු කරන්නේ එයින් ගාථා හඬ යටපත්වී බුදු සාදුට නෑසේවි යන බියෙන්ද? අප නොසිටියද ආච්චිඅම්මා මුමුණන ගාථා ළඟ සිටින අම්මාට වත් නෑසෙන  ගානයි. ඉතින් බුදු සාදුට කොහොම ඇහෙන්නද?

මේ සිතිවිල්ලේ ඈතට ගසාගෙන ගොස් සිටියදී නොදැනුවත්ම අනිමිස ලෝචන පුජාවක් සිදුවිය. වෙනිදා එකක් ලෙස දකින ශ්‍රී  බුද්ධ ශීර්ෂයේ අවයව වෙන වෙනම පෙනිණි. ආලෝකෝ  උදපාදී, විද්‍යා උදපාදී, ප්‍රඥා උදපාදී, පිළිතුර උදපාදී. බුදුසාදු ගේ කන් සාමාන්‍ය මිනිසකුගේ කන් වලට වඩා වෙනස්ය. උරහිස් දක්වා පහලට වැටෙයි. එකත් එකටම මුමුණන ගාථා බුදු සාදුට ඇහෙන්නේ කන් දෙක දිග නිසා විය යුතුය. එපමණින් අනිමිස ලෝචන පුජාව අවසන් විය. ගාලගොට්ටියට තවත් හඬක් එක්විය.