Pages

Tuesday, May 5, 2020

පහනේ වහලා

නෙස්ප්‍රේ කිරිපිටි සමඟ නොමිලේ ලබාදුන් ළමා කතා, මා කුඩා කල ඉතා අසාවෙන් කියවූ පොත් පෙලකි. අලි බාබා සහ හොරු හතලිහ, නිදි කුමාරි, රතු හැට්ටකාරී, ඇලඩින් ගේ පුදුම පහන වැනි මතක හිටින කතා ඒ අතර විය. ඉන් වඩාත්ම කුහුල අවදිකලේ ඇලඩින් ගේ පුදුම පහන වටා ගෙතුණු කතාවයි. එහි විස්මය ජනක මායා ජාලයන් අතරේ ලොකුම පටලැවිල්ල වූයේ ඇලඩීන් සහ භූතයා අතර පළමු කතාබහයි. ඇලඩින් පළමු වරට  භූතයා දුටු විට භූතයා තමාව  හදුන්වා දුන්නේ "මම පහනේ වහලා" යනුවෙනි.

Image Source: URL

වහලා යන වචනය නාම පදයක් ලෙස එකල මා දැන සිටියේ නැත. දැන සිටියේ ක්‍රියා පදයක් ලෙස පමණි. නමුත් පොතේ තිබුණ චිත්‍රය මා දැනසිටි අරුතට ගැලපුනේ නැත. පහනේ වහලා යන්නෙන් මගේ සිතේ මැවුනේ කුරුල්ලක් අතු අග වසා සිටිනවා මෙන් පහන මත වසා සිටින භුතයෙකි. පසුකලෙක පාසලෙදි වහල් මෙහය පිළිබඳව දැන ගන්නා තුරු පහනේ වහලා නොවිසඳුණු අබිරහසක්ව පැවතිනි.

Friday, April 24, 2020

පන්සලේදී වන්දනා කරන ගාථා බුදු සාදුට ඇසෙන්නේ කොහොමද ?



කුඩා අවධියේදී  පන්සල් යෑම එම මොහොතේදීම පින් පල දෙන දුලබ අවස්ථාවකි.  අම්මලා, අච්චිලා වන්දනා කර අවසන්වනතුරු හිතේ හැටියට වැලිමලුවෙ සහ පඩිපෙල් මත දුව පැන නැටීමට ලැබීම එම පින්කමේ අනිසන්සයයි. අනිසන්සයට සමගාමිව ගාලගොට්ටියද ක්‍රමයෙන් වැඩිවේ. වැඩිහිටියෙකු පැමිණ තරවටු කිරීමෙන් පසුව තත්වය මදකට සමනය වුවද එය චිත්තක්ෂණ කිහිපයට  පමණි. මෙය ඒ අතර ඇතිවූ පුංචි ප්‍රශ්නයකි.

ඉඳහිට සදෙව්ලොවටම ඇසෙන සේ ශබ්දනගා ගාථා කියන උපාසක උපාසිකාවන් පන්සලේ දැක ඇති මුත් බොහෝ දෙනා වන්දනා ගාථා ඉතා සෙමින් මුමුණති. වැඩිහිටියන් අපගේ  ගාලගෝට්ටියට තරවටු කරන්නේ එයින් ගාථා හඬ යටපත්වී බුදු සාදුට නෑසේවි යන බියෙන්ද? අප නොසිටියද ආච්චිඅම්මා මුමුණන ගාථා ළඟ සිටින අම්මාට වත් නෑසෙන  ගානයි. ඉතින් බුදු සාදුට කොහොම ඇහෙන්නද?

මේ සිතිවිල්ලේ ඈතට ගසාගෙන ගොස් සිටියදී නොදැනුවත්ම අනිමිස ලෝචන පුජාවක් සිදුවිය. වෙනිදා එකක් ලෙස දකින ශ්‍රී  බුද්ධ ශීර්ෂයේ අවයව වෙන වෙනම පෙනිණි. ආලෝකෝ  උදපාදී, විද්‍යා උදපාදී, ප්‍රඥා උදපාදී, පිළිතුර උදපාදී. බුදුසාදු ගේ කන් සාමාන්‍ය මිනිසකුගේ කන් වලට වඩා වෙනස්ය. උරහිස් දක්වා පහලට වැටෙයි. එකත් එකටම මුමුණන ගාථා බුදු සාදුට ඇහෙන්නේ කන් දෙක දිග නිසා විය යුතුය. එපමණින් අනිමිස ලෝචන පුජාව අවසන් විය. ගාලගොට්ටියට තවත් හඬක් එක්විය.

Tuesday, March 3, 2020

ගුණේ අයියගේ බජව් දාන කාමරේ

ශ්‍රී ලංකා ජන සමාජයේ සැඟවුණු පැතිකඩක තොරතුර, නැටවෙන තනුවකින් ඉදිරිපත් කරන මෙම ගීතයේ වචන බොහොමයක් මට කුඩා කල ගීය ඇසුණු විට නොවැටහිණි. එම වචන අතරින් වැඩිපුරම කුහුල අවදි කල වචනය වුයේ 'බජව්' ය. බජව් යනු කුමක්ද, එය දැමීමට කාමරයක් අවශ්‍ය ඇයි, ගුණේ  අයියාට බජව් වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද වැනි මෙකි නොකී දහසකුත් ප්‍රශ්න අතර අතරමංව සිටියදී අහම්බෙන් මෙන් ගැටළුව විසඳීමට හෝඩුවාවක් ලැබිණි. ඒ වෙනත් ටෙලි නාට්‍යයක් නරඹන අතරතුරය. එය, ගීතයේ කියවෙන වචන වලට සමාන වචන භාවිතා කරන පුද්ගලයෙකු පරවියන් ඇතිකරන දර්ශනයකි.  එක වරම සිත තුල විදුලි බුබුලක් දැල්විණි.

විනෝදයට ඇති කල හැක්කේ පරවියන් පමණද?

එකත් එකටම ගුණේ අයියා වෙනත් සුරතල් සත්ව විශේෂයක් වෙන බජව් ඇති දැඩි කරයි. උන් ගාල් කර තබන කාමරය බජව් දාන කාමරය විය යුතුය. බජව්වකු ලෙස සිතේ මැවුනේ කුඩා ඌරු පැටවු වැනි සතෙකි. එයට මුල් වුයේ විසිතුරු වර්ණ යෙදු ඌරු පැටවකු හැඩය ගත් ගෙදර තිබුණු මුදල් එකතු කළ කැටයකි.

Wednesday, October 16, 2019

Humpty Dumpty ගෙදර ගේන්


කුඩා කල ළදරු පාසලේදි poems ඉගෙන ගත්තේ ගුරුවරියට සවන් දීමෙනි. ශබ්දය ඇසෙන ලෙස කුමක් හෝ කියමින් එකිනෙකා පරයමින් ළමෝ ගී ගයති. එක් දිනක් ඉගන්වුයේ Humpty Dumpty ට සිදුවු අකරතැබ්බයි. පසු කාලිනව දැනගත් පරිදි ගුරුවරිය ගැයුවේ මෙම පදමාලාවයි.

Humpty Dumpty sat on a wall,
Humpty Dumpty had a great fall.
All the king’s horses and all the king’s men
Couldn’t put Humpty together again.

බිත්තරයක් වූ Humpty Dumpty, තාප්පයක් මත ඉඳගෙන සිටියදී ඉන් ඇද වැටි කැඩී බිඳි ගිය අයුරු මෙහි කියවේ. හානිය කෙතරම්ද යත් රාජපුරුෂයන්ට පවා Humpty Dumpty යථා තත්ත්වයට ගැනීමට බැරි වීලු.  නියම අරුත එසේ වුවද ළදරුපාසලේදි තෙරුම්ගත හැකි වූයෙ together again (එයත් ගෙදර ගේන් ලෙස) පමණි. Humpty Dumpty ට කුමක් හෝ කරදරයක් වී ඇති බවත් ආපසු ගෙදර ගෙන ඒමට බැරි වූ බවත් අනුමානයෙන් තේරුම් ගත හැකි වුයෙන් වැඩිදුර ප්‍රශ්න නොඅසා සෑහීමට පත්වීමි.